Skip to Content

හීරෝ-හොන්ඩා සමාගම දෙකඩ වෙයි.

Honda හවුලෙන් ඉවත්වෙයි. බයික් වල අනාගතය?

Hero MotoCorp's new Logoඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද ඉමහත් ජනප්‍රියත්වයක් හිමි Hero Honda බයික් නිපදවනු ලබන Hero Honda සමාගමේ දෙකඩ වීම පසුගිය දිනවල ඉමහත් ජනප්‍රියත්වයක් උසුලන ලද මාතෘකාවක් විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ බහුතරයක් තවමත් මෙම පුවත අසා නැතුවාට කිසිදු සැකයක් නොමැත. එයට හේතුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය මෙම පුවතට සැලකිය යුතු අවදානයක් යොමු නොකිරීමය. ශ්‍රී ලංකාව තුළ විශාල ජනප්‍රියත්වයක් මෙන්ම අළෙවියක් ද හිමි බයිසිකලයක් වන හීරෝ හොන්ඩා හි මව් ආයතනය දෙකඩ වීම සුළු කොට තැකිය නොහැක්කේ එමගින් එහි පාරිභෝගිකයන්ට වන බලපෑම ගැන යම් කිසි තක්සේරුවක් හා දැනුවත් කිරීමක් අත්‍යාවශ්‍යම බැවිනි.

කෙසේ උවද මෙම ගැටළුවේ පසුතලය සුපරික්ෂාකාරීව සොයා බැලීමේදී අපහට පෙනී ගියේ මෙම වෙන්වීම පිළිබඳ කිසිදු බියක් හෝ තැතිගැන්මක් හෝ ඇති කර නොගත යුතු බවය.

Hero Honda ඇරඹුම

1984 වර්ෂයේදී ඉන්දියාවේ Hero Cycles ආයතනය හා ජපානයේ Honda ආයතන එක්වී අත්සන් තබන ලද හවුල් ගිවිසුමකට අනුව Hero Honda ආයතනය බිහිවිය. ආයතනයේ කොටස් වලින් 26% බැගින් ආයතන දෙක සතුව හා ඉතිරි 48% ක කොටස් තුන්වන පාර්ශවයන් සතුවද පැවතුනි. ලෝකයේ ප්‍රමුඛතම වාහන නිෂ්පාදන ආයතනක් වන Honda ආයතනයේ තාක්ෂණික දැනුම හා ඉන්දියානුවන්ගේ ශ්‍රමය හා කැපවීම තුළින් Hero Honda ආයතනය ඉන්දියාවේ අංක 1 මෝටර් සයිකල් නිෂ්පාදන ආයතනය බවට පත්විය.

හවුල් ආයතනයේ දෙදරා යෑම

2010 වසර අග භාගයේදී ආයතනයේ හවුල් ගිවිසුමමේ ගැටළුව ප්‍රථමයෙන්ම මාධ්‍යවලට හෙළි විය. 2010 දෙසැම්බරයේදී හවුල් ගිවිසුමෙන් ඉවත් වීමට ආයතනයේ පාලක මණ්ඩලය තීරණය කරන ලදී. ඒ අනුව හවුල් ව්‍යාපාරයේ Honda ආයතනය සතු 26% ක කොටස් ඉන්දියාවේ Hero සමාගම විසින් මිලදී ගැනීමට තීරණය වන ලදී. ඒ අනුව 2011 අගෝස්තුවේදී නිළ වශයෙන් Hero Honda ආයතනය "Hero MotoCorp (හීරෝ මොටෝකෝප්)" ලෙස නම් කරන ලද අතර ආයතනයේ නිළ වෙබ් අඩවියේ විශාල බැනරයක් මගින් ද එය ප්‍රදර්ශනය කරන ලදී.

නව ආයතනය "Hero MotoCorp (හීරෝ මොටෝකෝප්)"

Hero Honda Splitsනව වෙළඳ නාමයකින්, සළකුණකින් හා මුහුණුවරකින් දිගු ගමනක් යෑමට සැරසෙයි. වෙබ් අඩවිය නූතන කාලයට ගැලපෙන ලෙස නවීකරණය කර ඇත.

ජපානයේ Honda ආයතනයෙන් ලැබුණු තාක්ෂණික දැනුමින් තොරව තනිව නැගී සිටීමේ අභියෝගය ජය ගැනීමට Hero නව ආයතනයට සිදුව ඇත. ඔවුනගේ ප්‍රමුඛතම ව්‍යාපාරික එදිරිවාදීන් වන Bajaj ආයතනය හා TVS ආයතනය මෙම අභියෝගය සාර්ථක කරගෙන ඇති අතර Hero MotoCorp ආයතනයට එය හොඳින්ම ජයගත හැකි බවට ව්‍යාපාරික විශ්ලේෂකයන් සනාථ කර සිටී.

හවුල් ගිවිසුමට අනුව Hero Honda මෝටර් සයිකල් අපනයනය කළ හැකි වූයේ අසල් වැසි ශ්‍රී ලංකාවට පමණි. නව ආයතනයට මුළු ලෝකයේම දොරගුළු විවෘතව ඇත. එය මෙම නව පෙරළියේ විශාලතම සුභ ලකුණ ලෙස අප දකිමු.  එමගින් නිෂ්පාදන පුළුල් කිරීමේ හැකියාව ඇති වන අතර එයින් නව ව්‍යාපාරික මං පෙත් සොයා යෑමට Hero ඉඩ කඩ සැලසෙයි.